රෑ කල පෘතුවිය – Night view

අපි පෘතුවිය මත ඉදල අහස දිහා බැලුවම දකින දේවල් වලටත් වඩා බොහෝ ආකර්ෂණිය දේවල් පෘතුවියෙන් පිට ඉදල අපේ මව් ග්‍රහලොව දිහා බැලුවමත් අපිට දැක ගන්න පුළුවන්. මේ එවැනි අවස්ථාවක්. Expedition 30 කණ්ඩායමේ සාමාජිකයන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ලබාගත් ඉහත ඡායාරූපය පෘතුවියේ රාත්‍රී කාලය පෙන්වන්නක්. ඇමරිකා එක්සත් ජනපදයේ Atlantic වෙරල තීරය ඉන් දක්වා තියනවා. වර්ජිනියා, මේරි අයිලන්ඩ් වගේම වොෂින්ටනයත් පෙන්වන මෙම රුපයේ වම් පසින් පෙනෙන්නේ, අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ නවතා ඇති රුසියාවට අයත් යානා දෙකක්. කලකදී සතුරන් ලෙස හැඳින්වූ ජාතින් දෙකක් තාරකා විද්‍යාවේ නාමයෙන් හරි සමගිව ඉන්න එක කොයිතරම් දෙයක්ද? මෙම ඡායාරූපය 2012 පෙබරවාරි 6 වන දින ගන්නා ලද්දකි.

Sri Lankan Astronomy, Astronomy in Sinhala 
Posted in පුවත් | Leave a comment

හිරු මත ගිනිදළු – solar flares

“හිරු මතු පිට මොකක්දෝ පිපිරීමක්ලු,අපිට හානිකර කිරණ එහෙම එන්නත් පුළුවන්ලු.. අනේ මන්දා ලෝක විනාසේ ලංවෙලාද කොහෙද? “
හුඟක් අයට මෙහෙම දේවල් මේ දවස් ටිකේ අහන්න ලැබෙන්න ඇති. ඇත්තටම මොකක්ද මේ වෙලා තියෙන්නේ. සුර්යා ගැන අපි මීට කලිනුත් හිරු ලප ලිපියෙන් කතා කළා ඔබට මතක ඇති. සූර්ය ගිනි දළු පිටවීමක් ගැන කතාවෙන නිසා මුලින්ම ඒ ගැන සොයා බලමු. හිරු මතුපිට ක්ෂණිකව ඇති වන දීප්තිමත් ස්වභාවයක් ලෙස මේවා නිරීක්ෂණය කල හැකියි. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවකදී නිකුත් වන ශක්තිය 6 × 1025 J පමණ වේ. එය සාමාන්‍යයෙන් හිරු තත්පරයකදී නිකුත් කරන ශක්තිය මෙන් හය ගුණයකට හෝ TNT මෙගා ටොන් 160,000,000,000 මගින් නිකුත් කරන ශක්තියට සමාන ශක්තියකි. මෙවැනි ගිනි දළුවක් සූර්ය කොරෝනාවේ සිට ඉලෙක්ට්‍රොන, අයන සහ පරමාණු අවකාශයට නිකුත් කරන අතර දිනයක් දෙකක් වැනි කාලයකදී පෘතුවිය වෙත මෙම අංශු ලගාවීම සිදුවේ. මෙවැනි සංසිද්ධියකදී විද්‍යුත් චුම්භක වර්ණාවලියේ සියලුම තරංග ආයාමයන්ට අදාල විකිරණද නිකුත් වෙයි. සාමාන්‍යයෙන් සූර්ය ගිනි දළු පියවි ඇසින් නිරීක්ෂණය කල නොහැකි අතර බොහෝවිට හිරු ලප ආසන්නයේ ඇතිවීම දැකිය හැක. මෙම ශක්ති නිකුතුව විටක කොරෝනාව මතු පිටින් ස්කන්ධමය අංශු පිටවීමක් (Coronal Mass Ejection – CME) ලෙසද සිදුවිය හැක. මෙම ක්‍රියාවලි දෙක අතර වෙනස තවමත් ඉතා නිවැරදි ලෙස හදුනාගෙන නොමැත.



මේවා ඇති වෙන්නේ කොහොමද? ඉතාමත් ඉහල වේග වලට ත්වරණය වන ආරෝපිත අංශු සුර්ය ප්ලාස්මාවේ ගැටීමත් සමග සුර්ය ගිනිදළු ඇතිවීම සිදුවේ යයි සරලව පැහැදිලි කලහැක.නමුත් සුර්යා මතුපිට පවතින චුම්භකත්වයද මෙයට සෘජුවම බලපායි.


වර්ගීකරණය
සූර්ය ගිනිදළු A,B,C,M හා X ලෙස පෘතුවිය ආසන්නයේ 100 – 800 පිකෝ මීටර, X- කිරණ ශ්‍රාවය මැනීම මගින් වර්ග කරනු ලැබේ. මෙය සිදුකරනු ලබන්නේ GOES නම් අභ්‍යවකාශ යානය මගිනි.
පහත වර්ගීකරණයට අමතරව ඒවා තවත් උප කාණ්ඩ 10කට වර්ග කර ඇති අතර එක් කාණ්ඩයක් මුල් කාණ්ඩය මෙන් 10 ගුණයක ප්‍රබලතාවයකින් යුතු වේ. එනම් X9 යනු විශාල ප්‍රමාණයේ ගිනි දළුවකි. එහෙත් එයට වැඩි ප්‍රබලතාවයක් ඇති ගිනි දළුද වාර්තා වී ඇත.
Classification               Peak Flux Range at 100-800 picometer
            (Watts/square meter)
         A                               < 10-7
         B                              10-7 – 10-6
        C                              10-6 – 10-5
        M                              10-5 – 10-4
        X                              > 10-4

මෙම ගිනි දළු හේතුවෙන් නිකුත්වන ආරෝපිත අංශු පෘතුවිය සමීපයේ අවකාශ කාලගුණය, (Space Weather) කෙරෙහි දැඩි බලපෑමක් ඇතිකරයි. එමෙන්ම එමගින් ඉතා අධික ශක්තියක් ඇති අංශු ප්‍රවාහයක්ද ඇතිවිය හැක. එය ප්‍රෝටෝන සන්සිද්ධියක් හෙවත් CME අවස්ථාවක් ලෙස හදුන්වයි.මෙම අංශු වලට පෘතුවියේ චුම්භක ගෝලයට බලපෑම් කළහැකි අතර අභ්‍යවකාශ යානා වලට හා ගගනගාමීන්ට විකිරණ හානි සිදුකිරීමටද සමත් වේ. තවද අධික CME අවස්ථාවන් හේතුවෙන් පෘතුවියේ විදුලි බිදවැටීම් පවා සිදුවේ. X  වර්ගයට අයත් ගිනිදළු වලින් නිකුත් වන මෘදු X කිරණ මගින් ඉහල වායුගෝලයේ අයනීකරණය වැඩි කරන අතර එමගින් කෙටි තරංග ගුවන්විදුලි ප්‍රචාරණයට බාධා පැමිණිය හැක. උතුරු හා දකුණු අර්ධ ගෝල අසල දැකිය හැකි අවුරෝරා එලි පෙනීමද මෙවැනි අවස්ථාවක වැඩිවේ. අගහරු හා චන්ද්‍රයා මත මිනිසුන් සහිතව සිදුකිරීමට අපේක්ෂිත ගවේෂණ කටයුතුවලටද මෙය බාධාවකි.

මේ දවස් වල මොකද වෙන්නේ?
හිරු මතුපිටින් අධික ශක්තියකින් යුත් ආරෝපිත අංශු නිකුත් වීමක් (CME)මේ වනවිට නාසා ආයතනය විසින් නිරීක්ෂණය කර ඇත. ඉතිහාසයේ සිදු වූ විශාලතම CME සංසිද්ධියක් ලෙසද මෙය සැලකේ. මෙහි බලපෑම පෘතුවියට දැනෙන නමුත් ඉන් සිදුවිය හැකි හානි පිළිබද ගණන් බැලීමක් තවමත් සිදුවී නෑ. එහෙත් පෘතුවිය මත භාවිතා කරන සන්නිවේදන උපකරණවලට හා කක්ෂගත චන්ද්‍රිකා වලට මෙමගින් හානි සිදුවීමේ අවදානමක් පවතී.

Posted in තාරකා විද්‍යා දැනුම | Leave a comment

සෞරග්‍රහ මණ්ඩලයේ වාමනයෝ – Solar System’s Dwarf Planets

ඔබට මතක නම් මීට‍ අවුරුදු හයකට විතර කලින් අපේ ග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක නවයක් තිබුනා. ඒ බුධ, සිකුරු, පෘතුවිය, අගහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චුන් හා ප්ලුටෝයි.. එහෙත් IAU (International Astronomical Union) විසින් 2006 වසරේ අගෝස්තු මස 24 වන දින ප්ලුටෝට අප ග්‍රහ මණ්ඩලයේ තිබූ තැන අහිමි කරන්නට තීරණය කළා. ඒ අනුව ප්ලුටෝව වර්ග කෙරුනේ වාමන ග්‍රහලෝකයක් ලෙසයි. මෙයට ප්‍රධානම හේතුව වුනේ IAU විසින් ග්‍රහලෝකය යන්නට නව අර්ථකතනයක් ලබාදීමයි. එයට අනුව,

ග්‍රහලොවක් (Planet) –    ග්‍රහවස්තුව සූර්යයා වටා භ්‍රමණය විය යුතු අතර වෙනත් ආකාශ වස්තුවක චන්ද්‍රයකු    නොවිය යුතුය. එය තම ගුරුත්වය යටතේ ගෝලාකාර හැඩයක් ගැනීමට තරම් විශාලත්වයකින් යුක්තවිය යුතුය. එමෙන්ම එහි ගමන් මාර්ගය ඒ අවට  වෙනත් ග්‍රහවස්තුන්ගෙන් තොරව පිරිසිදුව තිබිය යුතුය.
A body that circles the sun without being some other object’s satellite, is large enough to be rounded by its own gravity  and has “cleared its neighborhood” of most other orbiting bodies.

නමුත් ප්ලුටෝ ආසන්නයේ ඇති කුයිපර් වළල්ලේ ඇති ඝන අයිස් ගෝල හේතුවෙන් ප්ලුටෝ අවට භ්‍රමණ පථය පිරිසිදු අවකාශයක් ලෙස නොසැලකේ. මේ හේතුවෙන් ප්ලුටෝ ග්‍රහලෝක තත්වයෙන් ඉවත් කොට වාමන ග්‍රහලොවක් ලෙස 2006දී නම් කරනලදී. IAU ට අනුව අප ග්‍රහ මණ්ඩලය සතුව වාමන ග්‍රහලෝක 5ක් පවතී. ඒවා නමින්  Pluto, Eris, Haumea, Makemake හා Ceres ලෙස හඳුන්වයි. පහත දැක්වෙන්නේ ඒ එක් එක් වාමනයන් පිළිබද කුඩා විස්තරයක්.

Pluto..



1930දී ඇමරිකානු ජාතික Clyde Tombaugh විසින් මෙය සොයාගන්නා ලදී. එහි විෂ්කම්භය 2352 km වන අතර එය පෘතුවියේ ප්‍රමාණයෙන් පහෙන් එකකටත් වඩා අඩුය. මෙහි පථය විශාල ලෙස ඉලිප්සාකාර වන අතර එය අනෙක් ග්‍රහලෝකයන්හි පථයන්ගේ තලයට (plane) සමානද නොවේ. සුර්යයාගේ සිට මධ්‍ය දුර කිලෝමීටර බිලියන 5.87ක් වේ. එමෙන්ම එහි ආවර්ත කාලය අවුරුදු 248කි. එනම් ප්ලුටෝගේ වසරක කාලය අපේ වර්ෂවලින් 248කි. සුර්යයාගේ සිට ඉතාමත් ඈතින් පිහිටි බැවින් මෙය සුර්ය ග්‍රහමණ්ඩලයේ සිසිල්ම ස්ථානය ලෙස සැලකේ.ප්ලුටෝ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක -225 කි. ප්ලුටෝ සතුව චන්ද්‍රයන් හතර දෙනෙකු හඳුනාගෙන ඇත. ඒවා Charon, Nix, Hydra හා නවතම සොයාගත් චන්ද්‍රයා P4 ලෙසද හඳුන්වයි. මින්  චාරෝන් ප්ලුටෝගේ  ප්‍රමාණයෙන් අර්ධයක් පමණ වන අතර අනෙක්වා සාපේක්ෂව කුඩා වේ. මේ හේතුවන් ප්ලුටෝ හා චාරෝන් යුගල වාමනයන් ලෙසද හඳුන්වයි.

Eris..



තාරකා විද්‍යාඥයන් වන Mike Brown හා ඔහුගේ කණ්ඩායම විසින් 2005 වසරේදී සොයාගන්නා ලදී. Eris යනු ග්‍රීක දේව කතාවල සඳහන් අසමගියට හා කලහයන්ට අධිපති දෙවියන්ගේ නමය. එය සතුවද හඳුනාගත් එක් චන්ද්‍රයකු පවතී. ඒ Dysnomia ය. ප්‍රමාණයෙන් ප්ලුටෝ තරම් වුවද Eris, Pluto මෙන් 25% පමණ වැඩිපුර ස්කන්ධය කින් යුතුය. සුර්යාගේ සිට කිලෝමීටර බිලියන 10.1දුරකින් පිහිටන එරිස්‌ ගේ වර්ෂයක කාලය පෘතුවි වර්ෂ 557කි.

Haumea.



2004දී බ්‍රවුන් සහ කණ්ඩායම විසින් සොයාගත් Haumea  හැඩය අතින් ඇමරිකානු පාපන්දුවක් වැනිය (American foot ball). මෙය සුර්යග්‍රහ මණ්ඩලයේ අද්භුතම වස්තුවක් ලෙසද සලකයි.1931 km  පමණ දිගකින් සමන්විත Haumea ප්ලුටෝගේ ස්කන්ධය මෙන් තුන් ගුණයකින් අඩුය. සුර්ය ග්‍රහමණ්ඩලයේ වේගවත්ම වස්තුව ලෙසද සැලකෙන මෙයට තමාගේ අක්ෂය වටා භ්‍රමණය වීමට  ගතවන්නේ පැය 4ක පමණ කාලයකි. සුර්යා වටා වටයක් යාමට වර්ෂ 283ක් ගතවේ. සොයාගෙන ඇති චන්ද්‍රයන් ගණන 2 කි. ඒ Hi’iaka හා Namaka ය .
Makemake.. 



2005 බ්‍රවුන් ඇතුළු කණ්ඩායමට හමුවූ තවත් වාමන ග්‍රහයෙකි. තවමත් විශාලත්වය නිවැරදිව ගණනය කර නැතත් විශාලත්ව අනුපිලිවෙලෙහි 3 වෙනි තැන ඇති බව සැලකේ. සුර්යයාගේ සිට මධ්‍ය දුර කිලෝමීටර බිලියන 6.85ක් වේ. එමෙන්ම එහි ආවර්ත කාලය අවුරුදු 310කි.  මෙය කුයිපර් කලාපයේ ඇති දෙවනියට දීප්තිමත් වස්තුව ලෙස සලකන අතර දෙවැනි වන්නේ ප්ලුටෝට පමණි.

Ceres…



කුයිපර් වළල්ලෙන් පිට සොයාගත් එකම වාමන ග්‍රහලොවයි. මෙය අගහරු හා බ්‍රහස්පති අතර ග්‍රාහක වළල්ලේ දී දැකිය හැක.1801 ජනවාරි 1 දා ඉතාලි ජාතික Giuseppe Piazzi විසින් සොයාගන්නා ලදී. සුර්යා වටා සෑම වසර 4.6 කටම වරක් ගමන් ගන්නා මෙය කිලෝමීටර 950ක විෂ්කම්බයකින් යුතු අතර කුඩාම වාමන ග්‍රහයා ලෙසද හැදින්විය හැක.

Posted in තාරකා විද්‍යා දැනුම | Leave a comment

ජෙරමියස් දියෙස් අභියෝගතා කුසලානය 2012 – Jeremias Dias Challenge Trophy 2012

කොළඹ විශාඛා විද්‍යාලීය තාරකා විද්‍යා සංගමය විසින් සංවිධානය කරන වාර්ෂික තාරකා විද්‍යා දැනුම මිනුම තරගාවලිය ජෙරමියස් දියෙස් අභියෝගතා කුසලානය මේ වසරේදීත් සාර්ථක ලෙස නිමාවට පත්විය. එය පසුගිය පෙබරවාරි 28 වන දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනිය වන සඳමාලි අවිරුප්පොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර ආරාධිත පාසල් 20 කට ආසන්න සංඛ්‍යාවක සහභාගිත්වයකින් යුතු විය.පාසලේ සොහොයුරියන් අතර තාරකා විද්‍යාව ප්‍රචලිත කිරීමට හා ඔවුන්ගේ තාරකා විද්‍යා දැනුම වර්ධනය කිරීමට විශාඛා තාරකා විද්‍යා සංගමය කටයුතු කරයි. බාලිකා පාසලක් මගින් පවත්වන ලද ප්‍රථම තාරකා විද්‍යා රාත්‍රී අහස නිරීක්ෂණ කදවුර සංවිධානය කිරීමේ ගෞරවයද විශාඛාවෝ සතු වේ. සංගමය භාර ගුරු මහත්මීන් ලෙස පුෂ්පිකා වන්නිආරච්චි මහත්මිය , වසන්තා ජතුංගආරච්චි මහත්මිය හා ප්‍රියංගනී සිංහකුමාර මහත්මිය කටයුතු කරයි. මෙවර කුසලානය දිනා ගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලයත්, අනුශුරතාවය දිනාගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයත් සමත්වුහ. මීට සමගාමිව පාසල තුලද විවිධ අංශ යටතේ පැවැත්වූ තරග වලින් ජයගත්  විශාඛාවියන් වෙත ත්‍යාග ප්‍රධානය කිරීමද එහිදී සිදුවිය. ඉදිරියේදීත් තාරකා විද්‍යා ක්ෂේස්ත්‍රයේ දිගු ඉදිරිගමනකට විශාඛා තාරකා විද්‍යා සංගමයට starskytk.info අපි සුභ පැතුම් එක් කරන්නෙමු.

Posted in පුවත් | Leave a comment

පැරණිතම ලේඛණගත ඉතිහාසයක් සහිත සුපර් නෝවාව – Oldest Recorded Supernova

ඉහත ඡායාරූපය අභ්‍යවකාශ දුරදක්න හතරක දත්ත ඇසුරෙන් නිර්මාණය කරන ලද බහු තරංග ආයාම පෙන්වන අවස්ථාවකි. මෙමගින් දැක්වෙන්නේ RCW 16 නැමැති සුපර් නෝවාවයි. මෙය ලිඛිත ඉතිහාසයක් සහිත පැරණිම සුපර් නෝවාව ලෙස සැලකේ. ක්‍රි.පූ. 185 දී චීන තාරකා විද්‍යාඥයින් විසින් වසරේ මාස අටක කාලයක් දැකිය හැකි ආගන්තුක තාරකාවක් ලෙස මෙය ඔවුන්ගේ සටහන් වල දක්වා ඇත. සුපර් නෝවාවක් යනු තාරකාවක සිදුවන පිපිරීමකි. එවනි අවස්ථාවක නිකුත් වන කම්පන තරංග අවකාශය පුරා විසිරි යයි.එමගින් අවකාශ වායුන් ඉතා අධිකව රත් වන අතර ඒ නිසා ඇතිවන අධෝරක්ත කිරණ හා X කිරණ ආශ්‍රයෙන් මේවා ගැන පර්යේෂණ කල හැක.


RCW 16  ආසන්න වශයෙන් ආලෝක වර්ෂ 8000ක් පමණ ඈතින් පිහිටයි. ප්‍රමාණය අතින් එය ආලෝක වර්ෂ 85ක් පමණ විශ්කම්භයකින් යුක්තය.

Posted in තාරකා විද්‍යා දැනුම, පුවත් | Leave a comment

බුධ නිරීක්‍ෂණයට හොදම කාලය – Best days to mercury observation in 2012

බුධ ග්‍රහයා නිරීක්ෂණය කිරීමට ඔබ කැමතිනම් 2012 වර්ෂයේ ඊට සුදුසුම කාලය ළඟදීම උදා වෙනවා. ඒ මේ මාසයේ (පෙබරවාරි 2012) අවසන් සතියේදීයි. පෙබරවාරි 7 වනදා සිට සුර්යාත් පෘතුවියත්, බුධත් එක පෙලට පිහිටන පරිදි ස්ථාන ගත වන බැවින්, මුල් සති 2 තුල ඔබට බුධ නිරීක්ෂණය කිරීමට හැකි වන්නේ නෑ. නමුත් 3 වන සතිය අවසාන වන විට බුධ සවස් කාලයේදී බටහිර අහසේදී හොදින් දැකගත හැකි වනු ඇති. ඒ වගේම මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත හැකි වන්නේ උතුරු අර්ධ ගෝලයට අයත් අපි වගේ රටවල් වල නිරික්ෂකයන්ටයි.
සැබවින්ම උතුරු අර්ධ ගෝලයේදී බුධ නිරීක්‍ෂණයට හොදම කාලය වන්නේ වසන්ත සෘතුවේ සවස් කාලයේ හා සරත් සෘතුවේ උදය කාලයේදීයි. 2012 වර්ෂයේ ඔබට ලැබෙන මෙම අනගි අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්න.

බුධ


හිරුගේ සිට දුර -ආසන්නම අවස්ථාවේදී  කිලෝමීටර මිලියන 43ක් හා දුරස්ථ අවස්ථාවේදී කිලෝමීටර මිලියන 70ක්.
ආවර්ත කාලය – දින 88
උෂ්ණත්වය – 183 C සිට 467 C දක්වා
විෂ්කම්භය – 4,880 km
පෘතුවියේ ප්‍රමාණයෙන්  40% කි.

Posted in තාරකා විද්‍යා දැනුම, පුවත් | Leave a comment

හඳ මතුපිට සිංහ කොඩිය – The Sri Lankan flag had made its way to the moon

ලිපියේ මාතෘකාව දැකල කලබල වෙන්න එපා.දැන් 2012 වසර.64 වන නිදහස් දිනය සමරන්නට අපි සුදානම්. අපි මේ වන විට කොයි තරම් දියුණුද? මම හිතන්නේ ඔබට පිළිතුරක් ඇති. මම ඒ ගැන අහන්නේ නෑ. මේ කතාව තාරකා විද්‍යාවට කොයි තරම් දුරට අදාලද කියලත් ඔබම තීරණය කරන්න.

දිනමිණ- 18/07/1969
දිනමිණ – 22/07/1969

මිට වසර 40කටත් කලින් සිදුවුණ සඳ ගමන ගැන අපි දන්නවා. ඒ කතාව ගැන 1969දී පුවත්පත් වල පළවුණ ලිපි කීපයක් මේ රූප වල තියනවා. ටිකක් හිතල බලන්න ඒ උණුසුම් පුවතට අපේ කමක් එක් කරන්න අපේම මිනිස්සු  ගත්ත අහිංසක උත්සහයක් නේද මේ?  ඒ කාලේ ඔවුන්ටත් බලාපොරොත්තුවක් තියෙන්න ඇති, අපේ එකෙකුත් කවද හරි ඔය වැඩේ කරයි කියලා. ( ලගදි අහන්න ලැබුන News වලට අනුවනම් ඒක එහෙමලු. ඒක ඉතින් කොයි තරම් හොඳද 🙂 ) ඒත් අද අපේ රටේ මේ වගේ විෂයන්ට තියන තැන බොහොම අඩුයි. පාසල්වල දුරේක්ෂ තියා දෙනෙතියක් වත් නෑ. තාරකා නිරීක්ෂණය කරන්න තියා හොඳට පේන හඳ ගැන කියා දෙන්න කෙනෙක්වත් නෑ. ඉතින් කොහොමද අපි අපේ ආදී මුතුන්මිත්තන් ගේ සිහින මල්ඵල ගන්වන්නේ. තාරකා විද්‍යාවට ආස අපේ ඉස්කෝල වල ඉන්න නංගිලා මල්ලිලාගෙන් ඕන තරම් අය අහල ඇති “ඕව කරලා උබල ඉස්සරහට මොන Job එකද කරන්නේ” කියල. තාරකා විද්‍යා දිනයක් කරන්න තමන්ගේ අතින් වියදම් කරගෙන කටු කාපු නංගිලා මල්ලිලා ඒ රහ හොඳට දන්නවා. හිතන්න මේ අපේ අනාගත පරම්පරාවට පොඩි තල්ලුවක් දෙන්න අපිට පුළුවන් උනොත් කොයි තරම් දෙයක්ද? එදාට අපිට පුළුවන් වේවි, හදෙන් නොනැවතී එතනින් එහා  අභ්‍යවකාශයත් තරණය කරන්න. ආදරණිය නංගි මල්ලි, නවතින්නවත් පසු බසින්නවත් එපා, මොකද අපි අපේ රට වෙනුවෙන් කලයුතු දෙයක් තියනවා.

මේ බ්ලොග් අඩවියත් මේ විෂය ඉගන ගන්න ආස අපේම ලාංකික අභ්‍යවකාශගාමින් වෙනුවෙන්මයි.

ඡායාරූප උපුටා ගැනීම http://architecturez.blogspot.com වෙබ් අඩවියෙනි.
Posted in පුවත්, විශේෂාංග | Leave a comment

ලොව ලොකුම Radio දුරේක්ෂය විශ්වය පිරික්සීමට සුදානම් – Gigantic Radio Telescope

සාමාන්‍ය දුරේක්ෂයකින් සිදු කරන ආලෝක වර්තන ක්‍රියාවලිය තුලින් අපට විශ්වය දකින්න පුළුවන් ප්‍රමාණය ඉතා සීමිතයි. වඩාත් වැඩි නිරීක්ෂණ හැකියාවක් සහිත දුරේක්ෂ විශේෂයක් ලෙස රේඩියෝ දුරේක්ෂය හදුනා ගත හැකියි. එහිදී විශ්වයේ සිට නිකුත් වන විවිධ සංඛයාතයන්ට අදාල තරංග විශ්ලේෂණය මගින් විශ්වය ගැන පරීක්ෂණ පවත්වනු ලබන අතර, මෙවැනි රේඩියෝ දුරේක්ෂ 20,000 ක පමණ එක් කොට දුරේක්ෂ ජාලයක් තැනීමට දැන් හැමදේම සුදානම්.මෙය LOFAR (Low Frequency Array) ලෙස හදුන්වයි. මිට අමතරව මෙම ව්‍යාපෘතිය අන්තර් විශ්වීය බුද්ධිමත් ජිවයක්‌ සෙවීමේ කාර්යයටත් යොමු වනු ඇත.මෙම වසර මැද භාගයේදී නිමකිරීමට නියමිත මෙම ජාලයේ විභේදන බලය 1000 km විශ්කම්භයක් ඇති රේඩියෝ දුරේක්ෂයකට සමාන වන බව පැවසේ.  වැඩි දුර තොරතුරු සදහා LOFAR නිල වෙබ් අඩවියට පිවිසෙන්න.

Posted in පුවත් | Leave a comment

තාරකා විද්‍යා ඉතිහාසයේ වැදගත් අවස්ථා 10 ක් (1 කොටස) – Top ten Astronomy discoveries (Part 1)

1.කොපර්නික්ස් පෘතුවියට නිසිතැන ලබාදෙයි.



අතීතයේදී විවිධ ආගමික සංකල්ප මුල් කර ගනිමින් පෘතුවිය විශ්වයේ කේන්ද්‍රයේ ඇතැයිද, අනෙක් සියලුම ආකාශ වස්තු පෘතුවිය වටා භ්‍රමණය වන්නේ යයිද සැලකුණි,මෙය භූ කේන්ද්‍රවාදය ලෙස හදුන්වන ලද අතර, 16 වන සියවසේදී නිකලස් කොපර්නිකස් විසින් සූර්ය කේන්ද්‍රවාදය නම් නැවුම් සංකල්පය ඉදිරිපත් කරන ලදී. එනම් සුර්යා මද්ධ්‍යයේ පිහිටන බවත් පෘතුවිය ඇතුළු වෙනත් ග්‍රහලෝක එය වටා භ්‍රමණය වන බවත්ය. ආගමික මතවාදයන්ට එරෙහිව යන්නක් වූ බැවින් ක්‍රිස්තියානි පල්ලියෙන් කොපර්නික්ස්ට තාඩන පිඩනද එල්ල විය. එහෙත් වර්තමාන තාරකා විද්‍යාවේ ප්‍රධාන අවස්ථාවක් ලෙස මෙය පිළිගැනේ.

2. කෙප්ලර්ගෙන් ඛගෝල යාන්ත්‍ර විද්‍යාව



කෙප්ලර් විශ්වාස කලේ දෙවියන්ගේ භාෂාව ජ්‍යාමිතිය බවයි. ඔහු විසින් ඉදිරිපත් කරන ලද මුලික නියමයන් තුනක් මගින් ආකාශ වස්තු වල  හැසිරීම පැහැදිලි කරන ලදී. ( කෙප්ලර් නියම ගැන අපි මිට පෙරත් කතා කරා)  ඊට පෙර සුළු ගණිත දායකත්වයක් තිබු තාරකා විද්‍යාව ඉතා ඉක්මනින් වර්ධනය වෙන්න පටන් ගත්තේ ඊට පසුයි. එම නිසාම ආකාශ යාන්ත්‍ර විද්‍යාවේ පියා ලෙසත් කෙප්ලර්ව හදුන්වා දෙනවා. ඒ වගේම කොපර්නිකස් ගේ ගණනයන්ට වඩා 10 ගුණයක නිරවද්‍ය තාවයකින් ඔහු විශ්වය පිළිබද ගණනය කිරීම් සිදු කරා.


3. නිව්ටන්ගෙන් ගුරුත්වාකර්ෂණය



 ග්‍රහ වස්තුවල ඉලිප්සාකාර චලිතය ඇතුළු යාන්ත්‍රණය විස්තර කරත් එය කොහොම සිදු වෙනවාදැයි කියන්නට කෙප්ලර් අපොහොසත් වුණා. 1666 දී මෙයට විසදුමක් ලෙස නිව්ටන් සිය උපකල්පන ඉදිරිපත් කල අතර ඒ ඉතා ප්‍රසිද්ධ නිව්ටන් නියම 3 මගින් හා නිව්ටන්ගේ සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය මගින්. විශ්වයේ ඇති ඕනෑම වස්තු දෙකක් අතර ඇතිවන බලය එම වස්තුවල ස්කන්ධයට අනුලෝමව සමානුපාතික බවත් ඒවා අතර දුරේ වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතික බවත් එම නියමයේ සදහන්. ඒ අනුව පෘතුවිය වැනි ග්‍රහලෝක වල වෘත්තාකාර චලිතය අවශ්‍ය කේන්ද්‍ර අභිසාරී බලය සැපයෙන්නේ ග්‍රහ ලොව හා සූර්යා අතර ඇති ගුරුත්වාකර්ෂණ බලය මගිනුයි.

4. බ්‍රහස්පති චන්ද්‍රයන් නිරීක්ෂණය



පෘතුවියේ චලිතය අධ්‍යයනයෙන් ඔබ්බට ගිය ගැලිලියෝ, බ්‍රහස්පති ග්‍රහයා වටා ඇති ඉතා කුඩා තාරකා එලි ඉතා හොදින් නිරීක්ෂණය කරා. ප්‍රතිපලය වුනේ බ්‍රහස්පති වටා ගමන් කරන චන්ද්‍රයන් හදුනා ගැනීමට ලැබීමයි. මුලින් විශ්වාස කරේ චන්ද්‍රයකු ඇත්තේ පෘතුවියට පමණක් බවයි. එහෙත් අනෙක් ග්‍රහයන් සතුවද චන්ද්‍රයන් ඇති බවත් එය එකකට වඩා වැඩි විය හැකි බවත් ගැලිලියෝට පෙන්වා දෙන්න පුළුවන් වුණා. ඒ 1610 වසරේදීයි.

5. හර්ෂල්ගෙන් තරු සිතියමක්.



තාරකා සිතියමක් නිර්මාණය පහසු කටයුත්තක් නෙමෙයි.තාරකා පිළිබද අධ්‍යයනය කරන්නෙකුට ඉන් ලැබෙන්නේ විශාල සහයක්. එබැවින් බ්‍රිතාන්‍ය ජාතිකයකු වූ විලියම් හර්ෂල් සිය සොහොයුරිය කැරොලින්ගේ සහයත් ඇතුව තාරකා සිතියමක් නිර්මාණය කල අතර එයට ද්විමය තාරකා (Binary Stars) 800 ක් හා නෙබ්යුලා 2500 ක් ද අයත්. 1822 දී ඔහු මිය යන්නට පෙර යුරේනස් ග්‍රහ ලෝකයද සොයාගෙන තිබුනා. ඔහුගේ නිරීක්ෂණ මත පදනම්ව අප අයත් Milky way මන්දාකිනිය Disk  හැඩති බවත් ස්ථිර විය.

Contd…
Posted in තාරකා විද්‍යා දැනුම | 2 Comments

නාසා දකින, අහසේ යානා – New Ideas Sharpen Focus for Greener Aircraft

තාරකා විද්‍යාවට කෙලින්ම සම්බන්ධ නොවුනත් අනාගත අහස්යානා පිළිබද මේ පුවත ඔබට වැදගත් වේවි.රයිට් සහෝදරයන්ගේ ගුවන්යානා නිපදවීම අද වනවිට බොහෝ දුර ගමනක් ගිහින්. අති සුඛෝපභෝගී යානා මෙන්ම මගීන් විශාල සංඛ්‍යාවක් ගෙන යා හැකි යානාත් ඒ අතරට අයත්. නමුත් මෙම යානා වලින් සිදුවන පරිසර හානියේ නම් අඩුවක් නෑ. පරිසර හිතකාමී යානා මෙන්ම 2025 වසරට ගැලපෙන ගුවන් යානා පිලිබදව සොයා බැලීමට නාසා ආයතනය මුලිකත්වය ගෙන තියනවා. වාණිජ සමාගම් තුනක් වන බෝයිං, ලොක්හීඩ් මාර්ටින්, නොර්ත්රොප් ග්‍රමන් මෙම කාර්යයට සහභාගී වන අනෙක් පාර්ශවයන්. 1998 වසරේ තිබු තත්වයට වඩා, ඉන්ධන දහනය 50% අඩු කිරීම, පරිසර දූෂණය 75% අඩුකිරීම හා ගුවන්තොටුපල ශබ්ද දූෂණය 83% කින් අඩු කිරීම ඔවුන්ගේ අරමුනයි. ඒ සදහා ඉහත සමාගම් තුන මේ වන විට ඔවුන්ගේ මුලික සැලසුම් ඉදිරිපත් කරන්න කටයුතු යොදලා. පහත දක්වා ඇත්තේ එම නව ගුවන් යානා අනුරූ කිහිපයක්.

Boeing සමාගම 

ඔවුන්ගේ සැලසුම වායු ගතික වෙනස් වීම් නම් සංකල්පය හා ද්විගුණ පියාසර බදක් මගින් ඉහත අරමුණු ඉටු කර ගැනීමයි.
Lockheed Martin සමාගම

Box wing හැඩය හා තවත් අති දියුණු තක්ෂණික ක්‍රම කිහිපයක් ඔවුන් භාවිතා කරනු ඇති.


Northrop Grumman සමාගම

මෙම හැඩය සමහර විට ඔබට හුරුපුරුදු ඇති. බොහෝ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටි වලදී මෙය දැකගන්න පුළුවන්. මෙම යානයත් වායු ගතික විද්‍යා සංකල්ප වැඩි දියුණු කොට නිපදවා ගත්තක්.
2025 වසර ඉලක්ක කරගත් මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් එය අනාගත ගුවන් යානා ක්ෂේස්ත්‍රයේ විශාල ඉදිරි පිම්මක් වේවි.
Nasa web අඩවිය ඇසුරෙනි.


Posted in පුවත් | 2 Comments